තරුබාරුවෙන් පෙලේද? එසේ නම් කීටෝ ආහාර ඔබටත් සුදුසුද?

Dr. Susantha Ranasinghe
The founder of ‘Nugegoda Ayurvedic Clinic for male and female infertility’ Dr. Susantha is an outstanding Ayurvedic physician & researcher, who has championed the cause of Ayurvedic herbalism in the northern parts of rural India and brought for the benefit of Ayurveda in Sri Lanka.

ketogenic food

ලෝකය පුරා මේවන විට බෝ නොවන රෝග (Non Communicable Diseases) රැල්ලක් හමා යමින් පවතී. ඉහතදී ද අප සාකච්ඡා කළ පරිදි මේවන විට ලෝකයේ බෝ වන රෝග වසංගත වලට වඩා බෝ නොවන රෝග පැතිරීම වැඩි බව පැහැදිලි ය. එම නිසා මේ පිළිබඳ ඉතා දැඩි අවධානයක් ලෝකය පුරාම දැන් ඇති වී තිබේ.

මෙම ගැටලුව සඳහා විසඳුම් ලෙස යෝජනා වී ඇති බොහෝ විසඳුම් තවමත් එතරම් පල දරා නොමැත. කීටෝජනික (Ketogenic Food) ආහාරය ද එවැන්නකි. මේ පිළිබඳ නූතනයේ විශාල සාකච්ඡාවක් ඇති වී තිබූවත් එය පිළිබඳ සමාජයේ දැනුම ඉතා අවම වේ. මේ වෑයම එම කීටෝජනික ආහාරය පිළිබඳ යම් දැනුමක් ඔබ හමුවේ තැබීමටයි. මෙහි ගුණ දෝස අගයන්න. එය මාගේ ඊළඟ ලිපියට ප්‍රයෝජනවත් විය හැකි ය.

කීටෝ, …… කීටෝන යන යෙදුම් නිතර අපට දැන් දැන් අසන්නට ලැබේ. අප විසින් මේ කීටෝ ආහාරය පිළිබඳ ඉගෙනීමට ප්‍රථම කීටෝ සහ කීටෝන පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමක් සලකා බලමු………

සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයේ ශක්තිය නිෂ්පාදනය වීම සඳහා ශාරීරික සෛල ග්ලූකොස් දහනය කරනු ලබයි. යම් අවස්ථාවක එවැනි දහනය සඳහා ග්ලූකෝස් නැති විට ශක්තිය ලබා ගැනීම සඳහා දහනය කරනු ලබන්නේ මේදය යි. මෙහිදී නිපදවෙන රසායනික සංයෝගයක් ලෙස කීටෝන හඳුන්වා දිය හැකි ය.

රසායන විද්‍යාවේදී, කීටෝන ලෙස හඳුන්වන්නේ RC(=O)R’ {මෙහි R සහ R’ යනු කාබන් අන්තර්ගත විවිධාකාරයේ ආදේශක කණ්ඩ වේ} යන අණුක ව්‍යුහයක් සහිත කාබනික සංයෝග වේ. කීටෝන සහ ඇල්ඩිහයිඩ සාමාන්‍යයෙන් කාබොනයිල් කණ්ඩයක් සහිත සරල සංයෝග ලෙස සැළකේ. −OH හෝ −Cl වැනි සක්‍රීය කාණ්ඩයක්, කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට ඍජුවම බැඳී නොපැවතීම නිසා මේවා සරල සංයෝග ලෙස හඳුන්වනු ලබයි. කීටෝන සහ ඇල්ඩිහයිඩ සාමාන්‍යයෙන් කාබොනයිල් කණ්ඩයක් (කාබන්-ඔක්සිජන් ද්විත්ව බන්ධනයක්) සහිත සරල සංයෝග ලෙස සැළකේ. −OH හෝ −Cl වැනි සක්‍රීය කාණ්ඩයක්, කාබොනයිල් කාණ්ඩයේ කාබන් පරමාණුවට (උදා: −COOH කාණ්ඩයක් අන්තර්ගත කාබොක්සිලික් අම්ල වල පවතින ආකාරයෙන්) ඍජුවම බැඳී නොපැවතීම නිසා මේවා සරල සංයෝග ලෙස හඳුන්වනු ලබයි.

වර්තමානය වන විට කීටෝන ඉතා විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර ඉන් බොහොමයක් කීටෝන වර්ග, කර්මාන්ත වලදී සහ ජීව විද්‍යාවේ යෙදීම් වලදී වැදගත් වේ. උදාහරණ ලෙස බොහොමයක් සීනි වර්ග (කීටෝස) සහ කුඩාම කීටෝනය වන ඇසිටෝන් වැනි කර්මාන්තමය වශයෙන් වැදගත් ද්‍රාවක ආදිය දැක්විය හැකි ය.

අප මෙහි දී සාකච්ඡා කරනු ලබන්නේ කීටෝ ආහාර (Ketogenic foods) සම්බන්ධයෙන් බැවින් මෙතැන් සිට සංකීර්ණ රසායන විද්‍යා යෙදුම් වලින් තොර ඉතා සරල ලෙස කීටෝ ආහාර පිළිබඳ යමක් දැනගනිමු………..

කීටෝ ආහාරය හඳුනා ගන්න

කීටෝනික ආහාරය යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගල ශරීරයේ නිරාහාර අවදියේ ඇතිවන ප්‍රතික්‍රියාවන්ට සමාන ප්‍රතික්‍රියා ඇති කරවන ආහාරයේ සුවිශේෂී සැකැස්මකි. 1921 දී ප්‍රථමවරට බටහිර මෙම ආහාර සංයුතිය හඳුන්වා දී ඇති වුවත් අතීත ශ්‍රී ලාංකික දේශීය ආහාරයේ ද මෙයට සමාන ආහාර සැකසුම් ක්‍රම තිබී ඇති බව පෙන්වා දිය හැකි ය.

මෙය අතිශයින්ම අඩු කාබෝහයිඩ්රේට් අගයක් සහිත වූ ආහාරයකි. මෙවැනි ආහාරයක් ලබා ගැනීමේදී බලාපොරොත්තු විය හැකි වාසි කීපයක් පවතී.

  1. ශරීරය තුල ආහාර සංචයවීම අඩු වීම
  2. ශරීරයේ මේද සංචය වීමට ප්‍රතිකාරයක් වීම
  3. මෙවැනි ආහාර හේතුවෙන් ශරීරයේ ඇතිවන වෙනස්කම් හේතුකොට ගෙන මානසිකව පිබිදීමක් ඇතිවීම

ඒ කෙසේ වතුදු මෙම ආහාර සැකැස්ම එතරම් ජනප්‍රිය නොවීය. එයට හේතු වූයේ නොයෙකුත් පරිවෘත්තීය රෝග මෙම ආහාර භාවිත කරන්නන් අතර ඇතිවීම යි. නැවත 2008 දී සිදුකරනු ලැබූ පරීක්ෂණයකින් පෙනී ගියේ ළදරුවන් අතර ප්‍රතිකාර වලින් එතරම් සුවයක් නොලබන වලිප්පු (epilepsy) රෝග තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මෙම ආහාරයෙන් මනා පිටුවහලක් ලැබෙන බවයි.

මේ අනුව සිදු කරනු ලැබූ සායනික පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ ප්‍රතිකාර වලින් මනා සුවයක් නොලබන වලිප්පු රෝගීන් සඳහා ලබා දෙන කීටෝනික ආහාරයෙන් ඔවුන් ක්‍රමයෙන් සුවපත් වන බවයි. මෙම සුවපත් වීමේ ප්‍රතිශතය 85% තරම් ඉතා ඉහළ අගයක් ගනී. තවමත් මෙම වලිප්පු කම්පන (epilepsy seizure) සුවකිරීම සඳහා මෙහිදී ක්‍රියාත්මක වන්නා වූ යාන්ත්‍රණය හෙළි කරගෙන නැතත් විශ්වාස කරන්නේ, පරිවෘත්තියේ සීඝ්‍රතාවයේ ඇති කරන්නා වූ නොයෙක් වෙනස්කම් හේතුවෙන් මෙය සිදුවන බවයි.

පැහැදිලිව කීටෝ ආහාරයක් ලෙස නම් කළ හැක්කේ කුමනාකාරයේ ආහාරයක් ද?

මෙය ඉතා සංකීර්ණ ගැටලුවකි. මක්නිසාද යත් යම් ආහාරයක,

  1. කාබෝහයිඩ්‍රේට අඩංගු නොවේ නම් ද,
  2. එහි අධික මේදය ප්‍රමාණයක් අඩංගු වේ නම් ද, ප්‍රෝටීන එහි අඩංගු වන්නේ යම් මධ්‍යස්ථ මට්ටමකට නම් ද එම ආහාරය කීටෝ ආහාරයක් ලෙස නම් කළ හැකි ය.

විවිධාකාරයේ කීටෝ වට්ටෝරු ඇති මුත් නිශ්චිත පෝෂණ විද්‍යාත්මක කීටෝ ආහාර වට්ටෝරුවක් නම් තවම හඳුන්වා දී නැත.

ආහාරයක කාබෝහයිඩ්‍රේට නොමැති වී මේද ප්‍රමාණය අධික වූ විට එම ආහාරය පරිභෝජනය කරන්නා වූ පුද්ගලයාගේ පරිවෘත්තිය (metabolism) සඳහා ග්ලූකෝස් තව දුරටත් සපයා ගත නොහේ. එවිට පරිවෘත්තිය සිදු වන්නේ මේද දහනය වීමෙනි. මෙමඟින් පුද්ගලයාට ඇවැසිවන කැලරි ප්‍රමාණයෙන් 70% – 80% ප්‍රමාණයක් ලබා දේ.

එවිට ආහාරයේ ග්ලූකෝස් අඩංගු නොවන බැවින් රුධිරයේ අඩංගු ග්ලූකෝස් මට්ටම (Blood Glucose Level) ද ක්‍රමයෙන් පහළ බසී. එවිට ඉහත ආකාරයට මේද ආහාරයෙන් ශක්තිය නිපදවීම ශරීරය විසින් ආරම්භ කරන බැවින් දේහ ශක්ති අවශ්‍යතා සපුරා ගත හැකි ය. මේ අනුව කීටෝ ආහාරය අරම්භ කර යම් කාලයක් යාමේදී දේහයේ සංචිත ග්ලූකෝස් ඌනතාවක් ඇතිවන බැවින් දේශ අවශ්‍යතා සඳහා ශක්තිය නිපදවීම සඳහා දහනය වීමට ග්ලූකොස් හිඟ වේ. එම නිසා මේදය ශක්ති ප්‍රභවය බවට පත් වේ.

එයට සමාන්තරව රුධිරයේ කීටෝන අධික වීම හේතුවෙන් කීටෝසිස් නම් තත්ත්වය ඇති කරයි. දේහයේ අඩංගු කීටෝන වන්නේ,

  1. ඇසිටෝ ඇසිටේට් acetoacetate,
  2. ඇසිටෝන්, acetone,
  3. බීටා – හයිඩ්‍රොක්සි බියුට්‍රයිටේට්, (beta-hydroxybutyrate) වැනි සංයෝග යි. මේ හේතුවෙන් අක්මාවේ මෙවැනි කීටෝන දිගු දාම මේද අම්ල හා මධ්‍ය දාම මේද අම්ල ඇති කරයි. (long- and medium-chain fatty acids)

කීටෝසිස යනු කුමක් ද? Ketosis

කාබෝහයිඩ්‍රේට යම් ප්‍රමාණයක් ආහාරයට ගන්නා විට ශරීරයට ලැබෙන ඉන්සියුලින් හේතුවෙන් එය ග්ලූකෝස් බවට හරවා ඉන් ශක්තිය කැලරි ලෙස නිදහස් කරයි. මෙය ඉතා ඉක්මන් ක්‍රියාවකි. වැඩිපුර ඇති ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස සංචිත වේ. නමුත් කීටෝ ආහාරයේදී මෙම සංචිත හා එදිනෙදා ගන්නා ආහාරයේ ග්ලූකෝස් ඌනතාවක් ඇතිවන බැවින් ශක්තිය නිෂ්පාදනය සඳහා මේදය භාවිත කරයි. එහිදී අක්මාවේ කීටෝන දේහයන් ඇතිවේ. මෙය කීටෝසිස් නමින් හැඳින් වේ. මෙහිදී ග්ලූකෝස් තරම් වේගයෙන් ශක්තිය නිපදවන්නේ නැත. ඒ සඳහා සාපේක්ෂව දිගු කලක් ගත වේ. මේ හේතුවෙන් දේහ මේද ප්‍රමාණය ක්‍රමයෙන් ක්ෂයවී අධික පුද්ගල බර අඩු වේ.

මෙම කීටෝසිස් තත්ත්වය දේහය තුළ ඇතිවන අවස්ථා කීපයක් ම ඇත.

  1. නිරාහාරව සිටීම හෙවත් උපවාසය, (ආයුර්වේදයට අනුව ලංඝනය)
  2. දේහය අධික ලෙස වෙහෙසවන අවස්ථාවල දී නැතහොත් ව්‍යායාම කරන අවස්ථාවලදී යන අවස්ථාවලදී ශරීරය කීටෝසිස් අවස්ථාවකට ළඟා වේ.

කීටෝ ආහාරයේ ප්‍රයෝජන

  1. කීටෝ ආහාරයේ විශේෂතම ප්‍රයෝජනය වන්නේ දේහ බර අඩු කර ගැනීමට හැකි වීමයි (Weight loss). එනම් ශරීරයේ සංචිත ග්ලූකෝස් ඌනතාවයට පත්වන බැවින් හා මේදය දහනය වීමෙන් ශක්තිය නිපදවීමට වැය වන බැවිනි. මෙය ඉතා ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතු ආහාර පුරුද්දකි. මෙවැනි ආහාර රටාවකට යොමු වන්නේ නම් නිසි සුදුසුකම් ලද පෝෂණවේදීන් හෝ වෛද්‍යවරුන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම නිරන්තරයෙන් ලබා ගත යුතු ය.
  2. දියවැඩියා රෝගීන්ට මෙම ආහාර හිතකර වේ. Diabetics
  3. පිළිකා රෝගීන්ට හිතකර ය. Cancer
  4. ඇල්සයිමර් රෝගීන්ට ද විශේෂයෙන් හිතකර ආහාර රටාවකි. Alzheimer’s disease
  5. කීටෝ ආහාරය පිළිබඳ කෙරී ඇති පර්යේෂණවල දී අනාවරණය වූ විශේෂම කරුණ නම් එය වලිප්පු කම්පන අවස්ථාවල දී, වෙනත් ඖෂධ මඟින් සුව නොලබන කුඩා දරුවන් හා වැඩිහිටි අය සඳහා ප්‍රශස්ථ බවයි. epilepsy seizure (Infantile spasms)
  6. Poly Cystic Ovarian Disease රෝගීන්ට ද විශේෂයෙන් හිතකර ආහාර රටාවකි
  7. රෙට් සින්ඩ්‍රෝමය Rett syndrome
  8. Tuberous sclerosis complex
  9. Epilepsy with myoclonic-atonic seizures (Doose syndrome)
  10. GLUT1 deficiency
  11. Severe myoclonic epilepsy of infancy (Dravet syndrome)
  12. Pyruvate dehydrogenase (PDH) deficiency
  13.  බර අඩු කිරීම සඳහා උනන්දු වන අය Weight Loss
  14.  හෘද රෝගීන්
  15.  කුරුලෑ සුවය පිණිසද මෙය හේතු වේ.
  16.  ක්‍රීඩකයන් සඳහා ඉතා ප්‍රශස්ත ආහාර රටාවක් වීම

කීටෝ ආහාරයේ අවාසි

කීටෝ ආහාරය දේහ බර අඩු කිරීම සඳහා ඉතා වැදගත් වුවත්, මෙහිදී භාවිත කරන උපක්‍රම අනුව බොහෝ සෞඛ්‍ය ගැටලු පැන නැඟීමට හැකි ය.

  1. නොයෙක් ජානමය දුර්වලතා ඇති පුද්ගලයන් සඳහා මෙය සුදුසු ආහාරයක් නොවේ. එවැනි අයගේ ජානමය පරිවෘත්තීය දෝෂ හේතුවෙන් දේහයට ඇතිවන අහිතකර තත්ත්වය.
  2. කීටෝසිස් තත්ත්වය දිගට සිදුවීමෙන් රුධිරයේ ඇසිටෝන් ආදී කිටෝන අණු වැඩිපුර එක් රැස් වීමෙන් සිදුවන ඇසිටෝසිස් තත්ත්වය හේතුවෙන් ආම්ලිකත්වය අධික රුධිරය, විෂවීම සිදු විය හැකි ය.
  3.  තවද ශරීරයේ පෝෂණයට අවශ්‍යවන පෝෂක නිසි පරිදි නොලැබීමෙන් ඇතිවන තත්ත්වය. මෙහිදී බොහෝ පෝෂණ ගැටලු ඇතිවිය හැකි ය. එනම් මෙය සමබර ආහාරයක් නොවේ. ඛනිජ ලවණ මෙහි අඩංගු නොවීම ද මෙහි දුබලතාවකි.
  4.  මෙම ආහාරයේ තවත් දුර්වලතාවයක් ලෙස හෘද රෝගීන්ට හදිසි හෘදයාබාධ ඇතිවීමට ඇති සම්භාවිතාව අධික වීමයි.
  5.  අධික ලෙස මේදය ආහාරයට ගැනීම හේතුවෙන් ආහාර රුචිය ඇති නොවීම. ආහාර රුචිය ඇති කරන්නා වූ හෝමෝන මෙහිදී ස්‍රාවය වීම අඩු වේ.
  6.  කීටෝ ආහාරය හේතුවෙන් සමහර පුද්ගලයන්ගේ රුධිර පීඩනය හා රුධිරගත මේද අම්ල ප්‍රමාණය ඉහළ අගයක් පෙන්නුම් කරයි. Ketoacidosis
  7.  අධික කුසගින්න, ආතතිය ඇතිවීම, බඩ විරේක නොවීම (Constipation), හිසරදය, උද්දීප්‍යතාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
  8.  කීටෝ ආහාරය ලබා ගැනීමේ දිගුකාලීන අවාසි ලෙස ඇතිවන ලක්ෂණ ද බෙහෙවින් තිබේ. එනම් කැල්සියම් ඌනහාවය හේතුවෙන් ඔස්ටියෝපොරෝසිස් (osteoporosis) රෝගය ඇතිවීමට ඇති හැකියාව, වාතරක්ත රෝගය ඇතිවීමට ඇති ඉඩ, වෘක්ක ගල් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යාම, මෙම ලක්ෂණයි.
  9. පළමු ආකාරයේ දියවැඩියා (Type 01 Diabetics) රෝගීන් මෙම ආහාර රටාව අනුගමනය කිරීම සුදුසු නොවේ.
  10.  රුධිරයේ ආම්ලිකත්වය ඉහළ යාමෙන් රුධිර විෂ වී මරණය වුවද ඇතිවීමට හැකි ය.

විවිධ වූ කීටෝජනික ආහාර

නිසි අනුමත කීටෝජනික ආහාර වට්ටෝරුවක් මෙතෙක් එළි දක්වා නොමැති බැවින් විවිධ පුද්ගලයන් විවිධ රටාවේ ආහාර ක්‍රම මේ සඳහා භාවිත කරයි. බොහෝ කීටෝජනික ආහාර වට්ටෝරුවල සතෘප්ත මේදය (saturated fat) අඩංගු වේ. ඒ සඳහා උදාහරණ ලෙස, සකස් කරන ලද මස් වර්ග, මස්වල මේදමය කොටස් (fatty cuts of meat), රතු මස් වර්ග, ඌරු තෙල්, බටර්, ආදිය පෙන්වා දිය හැකි ය.

සමහර කීටෝජනික ආහාර වට්ටෝරුවල අසන්තෘප්ත මේදය (Unsaturated fats) සහිත ආහාර අඩංගු වේ. ඒ සඳහා උදාහරණ ලෙස, මාළු තෙල්, ධාන්‍ය, ඇටවර්ග, ශාක තෙල්, ගත හැකි ය.

කීටෝ ආහාර රටාව අනුගමනය කරන විට සමගාමීව නොගත යුතු ආහාර

  1. සියලු කාබෝහයිඩ්‍රේට
  2.  පිරිපහදු කළ හෝ නොකළ පිටි වර්ග
  3.  සීනි
  4.  ධාන්‍යමය පිටි වර්ග
  5.  පාන්
  6.  බේකරි ආහාර වර්ග
  7.  පැස්ටා
  8.  බිස්කට් වර්ග
  9.  බත්
  10.  කැඳ වර්ග
  11.  එළවළු
  12.  ඉරිඟු/ අර්තාපල්
  13.  පලතුරු සහ පලතුරු යුෂ

Add Your Comment